Tumgik
Text
ෆ කතාව
ෆොන්සේකලා ලංකාවට එන්නේ ලක් වැසියන් බටහිර රටවල් සමග පැවැත්වූ සබඳතාවන් නිසාය. ඉන්දීය සාගරයේ සක්‍රීය වෙළඳ මධ්‍යස්ථානයක පිහිටි ලංකාව ඈත අතීතයේ සිටම ලොව විවිධ ජාතීන් සමග විවිධ අන්දමේ සබඳතා පැවැත්වූ අතර මේ මගින් විවිධ ජාතීන් සතු දැනුම, තාක්ෂණයන්, නිෂ්පාදනයන් පමණක් නොව නම් ගම් පවා මෙරටට ගලා ආවේය. සිංහලයන්ගේ නම් අතරට “ෆොන්සේකලා” ආවේද එලෙසිනි. සිංහලයන් අතරට “ෆොන්සේකලා” අවාට ගැටළුව වූයේ එම නාමය සිංහල අකුරින් ලිවීමට හැකියාවක් එවකට නොතිබීමයි. ඉංග්‍රීසියෙන් “Fonseka” යන්න සිංහලයෙන් ලිවීමට හැකිවූයේ “පොන්සේකා” යනුවෙන් පමණි. සිංහලයේ “පොන්සේකා” කියන්නේ කිසිසේත්ම පුද්ගලයකු හැඳින්වීමට උචිත නොවන වෙනත් කරුණක් උදෙසාය. නමුත් ඉංග්‍රීසි භාෂවේ “Fa” ශබ්දයට සමාන වූ සිංහල ශබ්දය ලියා දැක්වීම සඳහා සිංහල හෝඩියෙහි අකුරක් නොවූයෙන් “ෆොන්සේකලාට” තම නම ලිවීමට සිදුවූයේ “පොන්සේකා” ලෙසිනි. මෙය නුසුදුසු නිසා “ෆොන්සේකලා” සිදුකලේ “පොන්සේකා” යන්නෙහි “ප” සමග ඉංග්‍රීසි හෝඩියේ “F” අකුර දමා “fපොන්සේකා” ලෙස ලිවීමය. මේ ගැටළුව ඇතිවූයේ ෆොන්සේකලාට පමණක් නොවේ. මෙරට වැසියන් බටහිර හා අරාබි ජාතීන් සමග ගණුදෙනු කිරීම නිසා මෙරටට ආ කාලිෆ් , ෆීලික්ස්, ෆියට්, සල්ෆේට්, ෆෝන් ආදී දහසකුත් එකක් වදන් සිංහලෙන් ලිවීමේදී මේ ගැටළුව ඇති විය. ෆොන්සේකලාට එවැනි ගැටළුවක් ඇති වූවත් එලෙස විදේශයන්හි සිට නොයෙක් බඩු භාණ්ඩ, දැනුම, තාක්ෂණය මෙන්ම නම් ගම් ද මෙරටට ගලා ආවේ අද ඊයේ නොවේ. වසර දෙදහස් ගණනකට එපිට සිටම එවැනි දෑ සිදුවූ අතර ඒවාට ගැලපෙන පරිදි අප නවීකරණය වීම හෝ ඒවා අපට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමට අපට හැකිවිය. නූතන ලෝකයේ අලංකාර හෝඩි අතරින් එකක් වන සිංහල හෝඩිය පවා අද පවතින අන්දමට දියුණු වීමට ලෝකය සමග තිබූ මේ සක්‍රීය ගණුදෙනුව හේතුවිය. පැරණි සෙල් ලිපි, පුස්කොල පොත් දෙස බලන විට මේ කාරණය ඉතා හොඳින් පැහැදිලි වෙයි. නමුත් “ෆොන්සේකලා”මෙරටට එනවිට සෙල්ලිපි යුගය නිමා වී තිබුනු නිසා ඉංග්‍රීසි භාෂවේ “Fa” ශබ්දය ලිවීමට සුදුසු අකුරු සෙල්ලිපි අකුරු අතර නොවීය. මේ නිසා එම ශබ්දය නිවැරදිව ලිවීමට නව අකුරක් සිංහල හෝඩියට අවශ්‍යය විය. නමුත් “ෆොන්සේකලා” මෙරටට පැමිණෙන අවධිය වන විට අපට අලුත් අකුරු සාදනවාට වඩා විසඳා ගැනීමට බොහෝ බරපතල ගැටළු විය. නිදහස අහිමිව ගොස් යලි ස්වාධීන ජාතියක් ලෙස කොඩි සේසත් එසවීම කාගෙත් බලාපොරොත්තුව විය. මේ නිසා “ෆොන්සේකලා” දිගින් දිගටම ඉංග්‍රීසි හෝඩියේ “F” අකුර සිංහල “ප” සමග බැඳ ලිවීම සිදුකලේය. සිංහල හෝඩියෙහි සුදුසු අකුරක් නොවූයෙන් ඉංග්‍රීසි “ f” අක්ෂරයෙන් හා “ph” , “ough” අක්ෂර සංයෝගයෙන් නියෝජනය කෙරෙන දන්තෞෂ්ඨජ අඝෝෂ ශබ්දය ලිවීම සඳහා සිංහල “ප” අකුර සමග ඉංග්‍රීසි හෝඩියේ “F” බද්ධකොට ලිවීම දිගටම සිදුවිය. ඇතැම් දෙනා කිසිඳු පැකිලීමකින් තොරව “ප” අකුර පමණක් මේ සඳහා භාවිතා කලේය. තවත් සමහර පිරිසක් “ප” අකුර මැදින් ඉංග්‍රීසි “ f ” අකුර යොදා භාවිතා කරන ලදි. ඉංග්‍රීසි “f” අකුර සිංහල “ප” අකුරට පෙර යොදා “fප ” ලෙස මෙන්ම “ප” අකුරට පසුව යොදා “පf ” ලෙස ලියූවෝද වූහ. නමුත් වසර දහස් ගණනක් තිස්සේ පරිණාමයවී දියුණුවූ අක්ෂර මාලාවක් සහිත සිංහලයෙන් ලිවීමේදී සිංහල අකුරු අතර ඉංග්‍රීසි අකුරු භාවිතය නොගැලපෙන, නොමනා ක්‍රියාවක් ලෙස සැලකූ උගතුන් මේ ශබ්දය ලිවීම සඳහා අකුරක් හඳුන්වා දීමට උත්සාහ කලහ. ඒ සඳහා නව අකුරක අවශ්‍යතාවය සිංහල උගතුන් සහ මුද්‍රණ ශිල්පීන් විසින් දහඅට වන සියවසේ සිටම අවධාරණය කල අතර විද්‍යා, තාක්ෂණික වදන් ලිවීමේදී මෙම අවශ්‍යතාවය තදින් ඇති විය. මේ අනුව ඉංග්‍රීසි භාෂවේ “ f ” අක්ෂරයෙන් නිරූපිත ශබ්දය දැක්වීම සඳහා නව අකුරක් ලෙස “ෆ” අකුර හඳුන්වාදෙන ලදි. “ෆ” අකුර සිංහල භාෂාවට ප්‍රථම වරට හඳුන්වා දීම, සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණයකු වූ මැන්දිස්‌ ගුණසේකර පඬිතුමා විසින් 1891 දී “Comprehensive Grammar of the Sinhalese language” ග්‍රන්ථය මගින් සිදුකල බව මේ වනවිට බොහෝ දෙනා පිළිගන්නා මතයයි. “ෆ” අකුර සහිත මුල් ම ව්‍යාකරණ ග්‍රන්ථය වන්නේද මෙම ග්‍රන්ථයයි. 1891 වසරේ දී ම ප්‍රකාශයට පත්වූ “අරාබි යාමිනී විලාසය” නම් පරිවර්තන කෘතියෙහි “කාලිෆ්” , “ෆීලික්ස්” වැනි වචන වලද මෙම “ෆ” අකුර යොදාගෙන ඇති අතර “ෆ” අකුර අරාබි වදන් සිංහලෙන් ලිවීම සඳහා ප්‍රථම වරට හඳුන්වා දුන් බවටද මතයක්ද මේ නිසා ඇති විය. ඉංග්‍රීසි භාෂවේ “f” මගින් නිරූපිත ශබ්දය දැක්වීම සඳහා එම අවධියෙහි ඇතැම් පිරිස් විසින් සංස්කෘත භාෂාවේ හමුවන “උපධ්මානීය” නම් සංඛේතයෙහි පහල කොටසට සමාන සංකේතයක් යොදාගත් බවද මැන්දිස්‌ ගුණසේකර පඬිතුමා සිය ග්‍රන්ථයෙහි දක්වයි. වර්තමානයේදී පවා ඇතැම් පිරිස් “ෆ” අකුර හැඳින්වීමට උපධ්මානීය යන නම භාවිතා කිරීමට හේතුවද එය විය හැකිය. මැන්දිස්‌ ගුණසේකර පඬිතුමා “ෆ” අකුර හඳුන්වා දුන් බව ප්‍රකට මතය වන නමුත් මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුණු භාෂා පර්යේෂකයකු වන බුද්ධික කෝනාර මහතා පෙන්වා දෙන්නේ 1890 වර්ෂයේදී ප්‍රකාශයට පත්කල එම්. ඒ.ධර්මරත්න මහතාගේ “වෛද්‍යාභිදානය” නම් ග්‍රන්ථය මගින් මේ අකුර ප්‍රථම වරට හඳුන්වා දුන් බවයි. “වෛද්‍යාභිදානය” ග්‍රන්ථයෙහි බටහිර විද්‍යාවෙහි සඳහන් වචන දැක්වීම සඳහා “ෆ” අකුර ඉතා සාර්ථකව භාවිත කර තිබේ. ෆයිට්‌, සල්ෆේට්, ෆාර්සි, කෝෆ්, ෆිව්රන්කිව්ලස්‌ වැනි වදන් රැසක් මෙහි හමුවන අතර මෙම ග්‍රන්ථයෙහි “ 'ෆ' මේ අකුරේ ශබ්දය ඉංග්‍රීසි F අකුරේ ශබ්දය වන්නේ ය. තොල් දෙක අතරෙන් හුලං පිටකරමින් නගන ශබ්දයයි” යනුවෙන් “ෆ” අකුර පිළිබඳ හැඳින්වීමක් පවා සිදුකර ඇත්තේ මෙයට පෙර “ෆ” අකුර පිලිබඳ නොදන්නා නිසා එම ග්‍රන්ථය භාවිතා කරන පාඨකයාට මෙම “ෆ” අකුර කියවීමේදී ඇතිවන ගැටළු මග හැරීමට විය හැකිය. මෙලෙස සිංහල අකුරු අතරට ඉංග්‍රීසි අකුරු නොයොදා ඉංග්‍රිසි “ f ” අකුරින් නිරූපිත ශබ්දය ලිවීමට අකුරක් හඳුන්වා දීමට උත්සාහ කලද “ප” අකුර සමග ඉංග්‍රිසි “f” අකුර ලියූ පිරිස් එය භාවිතයට කැමැත්තක් නොදැක්වීම නිසා දිගින් දිගටම නොහොබිනා අන්දමින් සිංහල අකුරු සමග ඉංග්‍රීසි අකුරු යෙදීම සිදුකරන ලදි. අද පවා ඇතැම් ව්‍යාපාරික ස්ථාන, මුද්‍රණ කර්මාන්තය මෙන්ම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ප්‍රකාශන වල පවා “ප” සමග “f” භාවිතය සිදුවෙයි. විශේෂයෙන් මෙම “ප” සමග “f” භාවිතය “Pharmacy” යන වදන දැක්වෙන ස්ථාන වල බහුලව දැක්වෙන නිසා සාමාන්‍ය වහරේ “ප” සහ “f” බද්ධ වූ අකුර හඳුන්වන්නේ “ෆාමසි ‘ප’ ” යනුවෙනි. හඳුන්වා දුන් නව “ෆ” අකුර භාවිතා කිරීමට උගතුන් මැලි වූවද එක් වෙළඳ දැන්වීම් කරුවකු එය ඉතා නිර්මාණශීලි ලෙස සමාජ ගත කලේය. ඒ හැත්තෑව දශකයේ පමණ මෙරට භාවිතා වූ “Four ACES” නම් සිගරට් වර්ගයක දැන්වීමක් සඳහා මෙම අකුර යොදා ගැනීමෙනි. බූරු කුට්ටමෙහි ආසි කොල හතර අනුව යෙදුනු මෙම නම සිංහලෙන් “ෆෝඒසස්” ලෙස වෙළඳ දැන්වීමකට ගැනීමේදී මෙම නව අකුර භාවිතා කරන ලදි. මේ නිසා එම කාලයේ “ඹ” අකුරට “අඹ ‘බ’ යන්න” කියන්නාක් මෙන් මෙම අකුර “ෆෝඒසස් ‘ෆ’” ලෙස හඳුන්වන ලදි. පසුව මෙය උච්චාරණයේ පහසුවට “ෆෝරේස් ‘ෆ’ ” ලෙසද කටවහරේ භාවිතා වූ අතර සිගරට් දැන්වීමක් නිසා ෆොන්සේකලාට නම හරියට ලිවීමට අවස්ථාවක් ලැබූ බවට විහිලු කතාවක්ද සමාජයේ ඇතිවිය. මේ දැන්වීම නිසා යම් තරමින් හෝ සමාජයෙහි කතාබහට ලක්වූ “ෆ” අකුරෙහි අගය වටහා ගත් හරිස්චන්ද්‍ර විජයතුංග මහතා 1878 වසරේදී ප්‍රකාශයට පත්කල “නූතන සිංහල පාරිභාෂික ශබ්ද කෝෂය”ග්‍රන්ථයට මෙම අකුරද ඇතුලත් කලේය. “අපේ සම්භාවිත ශබ්ද කෝෂකරුවන් තවම නොදැක්වූ ද, එහෙත් ව්‍යාහාරික නූතන සිංහල භාෂාවෙහි ඇත්ත වශයෙන්ම තිබෙන්නාවූද “ෆ” යන්න මෙහි සිංහල වර්ණ මාලාවට ඇතුළුැ කොට “ළ “යන්නට පරව තබා ඇත. සිංහල ශබ්ද කෝෂයකට “ෆ” යන්න වද්දගත් ප්‍රථම අවස්ථාව මෙය යයි සිතමි. මෙය උගතුන්ගේ ඇසට යොමු වේවා!” යනුවෙන් “ෆ” අකුර යොදා ගැනීම පිළිබඳව විජයතුංග මහතා සිය අදහසද එහි දක්වා තිබේ. නමුත් මැන්ඩිස් ගුණසේකර පඬිතුමා කාණ්ඩ දෙකකින් සමන්විතව ප්‍රකාශයට පත්කල ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයෙහි පරිශිෂ්ඨයෙහි මාලදිවයින්හි සිංහල චවන දැක්වීමටද භාවිතා කර ඇත්තේ මෙම “ෆ” අකුරයි. ඒ අනුව ශබ්ද කෝෂයකට “ෆ” අකුර යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැක්කේ ගුණසේකර පඬිතුමාගේ ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයයි. කෆ්ෆි (කප්පි), ෆවුරු (පවුරු), ෆැන් (පැන්), ෆුතු (පුතු), ෆොත් (පොත්) ආදී චවන රැසක් එහි හමුවේ. මෙලෙස ක්‍රමයෙන් භාවිතයට පැමිණි “ෆ” අකුර 1989 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිර්මාණය කරන ලද සිංහල අක්ෂර මාලාවට පිළිගත් අකුරක් ලෙස නිල වශයෙන් එකතු කර ගැණුනි. ඒ නිසා මෑත ඉතිහාසයේ සිංහල හෝඩියට අලුත් අකුරක් එක්වූ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකිය හැක්කේද “ෆ” අකුර සිංහල හෝඩියට එක්වීමයි. පසුව “ෆ” අකුර සිංහල පොත් සහ පුවත්පත් තුල භාවිතය සඳහා මුද්‍රණ කරුවන්ගෙන් ඉහල දායකත්වයක් ලැබුනු අතර පරිගණක පැමිණීමත් සමග නිර්මාණය වූ සිංහල ෆොනුරූ (Font) බොහොමයකද මෙම “ෆ” අකුර ඇතුලත් කොට තිබුණි. සිංහල විශ්වකේත නිර්මාණයේදී කේත 0DC6 යටතේ “ෆ” අකුර ඇතුලත් කිරීම නිසා අන්තර්ජාල යුගයේදීද බාධාවකින් තොරව එය භාවිතා කල හැකි වූ අතර සිංහල බ්‍රේල් සටහනට පවා “ෆ” අකුර එක්විය. මෙලෙස භාවිතයට ආ “ෆ” අකුර කපුටු “ෆ” හෝ කක්කුට්ටා ලෙස හැඳින්වීමට බොහෝ දෙනා හුරුවී සිටී. ඒ මෙය කපුටකු ඈත පියාඹන අකාරයෙන් පෙනීම නිසාය. විදේශීය භාෂාවන්හි ශබ්ද නිරූපණය සඳහා “ෆ” අකුර හඳුන්වා දුන් බව ප්‍රකාශ කලද අජිත් තිලකසේන වැනි භාෂා ප්‍රවීණයන්ගේ මතය වන්නේ “ෆ” අකුරින් නිරූපිත ශබ්දය අතීතයේ සිටම පැවති බවයි. “මේ හඬ පුරාණ සිංහලයෙත් නූතන සිංහලයෙත් නැතිවා නොවෙයි. ආච්චි ලිපට පිඹින්නේ “ෆූ” කියලයි. ෆූ! හරි දාඩියයි, ෆූහ්!, අවවහරේ ‘ශෆාන් එකේ ඉන්නවා’ වැනි තැන්වල “ෆ” තියෙනවා ” යනුවෙන් අජිත් තිලකසේන මහතා මේ අකුර පිළිබඳ අදට ඔබින බස ග්‍රන්ථයේදී පෙන්වා දෙයි. ඒ කෙසේ වෙතත් දැන් ෆොන්සේකලාට පමණක් නොව ෆැමල්කලා, ෆාතිමාලා, ෆවුසිලා ඇතුළු ඕනෑම අයෙකුට ලෙමන් ෆෆ්, ෆලූඩා, අයිෆල්, ෆාහියන්, ෆැක්ස්, ටොෆි, ගල්ෆ්, ෆැරන්හයිඩ් වැනි වදන් අමු සිංහලෙන්ම නිවැරදිව ලිවීමට පුළුවන. ඉංග්‍රීසි අකුරු, සිංහල අකුරු මැද්දට කලවම් කල යුතු නැත. දැන් “ෆ” අකුර ලීවීමට, යතුරු ලියනය කිරීමට, මුද්‍රණයට මෙන්ම අන්තර්ජාලයේද භාවිතා කල හැකිය. අවශ්‍යම නම් ෆැමල්කලාට, ෆොන්සේකලාට ගලේ කොටා තම නම තහවුරු කිරීමට සෙල්ලිපියක වුවද “ෆ” භාවිතා කිරීමට කිසිඳු බාධාවක් නැත. අසිරු වේදිත කරුණාරත්න
1 note · View note
Photo
Tumblr media
4 notes · View notes
Photo
Tumblr media
0 notes
Photo
Tumblr media
2 notes · View notes
Photo
Tumblr media
අශෝක
0 notes
Photo
Tumblr media
Sri Lanka
2K notes · View notes